නවතම දැනුම්දීම් සහ නිවේදන
ප්‍රගතිය සම්බන්ධ දැනුම්දීම්
අප බැංකුවේ මෑතකදී හඳුනාගත් සිදුවීම සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ නවතම තත්ත්වය මෙලෙස දැනුවත් කරන්නෙමු.
2026 අප්‍රේල් මස 23 වෙනි දින සිදු කරන ලද ආයතනික අනාවරණයට අනුකූලව සහ අපගේ 2026 අප්‍රේල් මස 6වෙනි දින ආයතනික අනාවරණයේ සඳහන් කළ පරිදි, සිදුවී ඇති වංචනික ගනුදෙනු සම්බන්ධයෙන් ස්වාධීන වෝහාරික සමාලෝචනයක් ආරම්භ කර ඇති අතර, එය වෝහාරික විමර්ශන පිළිබඳ විශේෂඥ දැනුමක් සහිත, ගෝලීයව පිළිගත් ආයතනයක් වන Deloitte Touche Tohmatsu India LLP විසින් සිදු කරනු ලැබේ. මෙම ක්‍රියාවලිය ශ්‍රී ලංකා මහ බැංකුවේ, බැංකු අධීක්ෂණ අධ්යක්ෂවරයාගේ උපදේශනය සහ නිර්දේශයන්ට අනුකූලව සිදු කරනු ලැබේ.
මෙම වෝහාරික සමාලෝචනය මගින්, සිදුවී ඇති වංචනික ගනුදෙනු සම්බන්ධ කරුණු සහ අදාළ කාල සීමාවේ අභ්‍යන්තර පාලනයන් සහ පාලන ව්‍යුහයන් තුළ තිබූ අතපසුවීම් පරික්ෂාවට ලක් කරනු ලැබේ. වෝහාරික සමාලෝචනයේ සොයාගැනීම්, අතුරු වාර්තා සහ අවසාන වාර්තාව, Deloitte ආයතනය විසින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත සෘජුවම ඉදිරිපත් කරනු ඇත.
අනාවරණය වූ මෙහෙයුම් අක්රමිකතාව පිළිබඳව කරුණු දක්වන NDB බැංකුව, සිය මූල්‍ය ශක්තිය සහ ස්ථාවරත්වය යළිත් සහතික කරයි
ජාතික සංවර්ධන බැංකුව (NDB බැංකුව) විසින් මීට පෙර අනාවරණය කරන ලද වංචා සහගත සිදුවීම පිළිබඳව ගනුදෙනුකරුවන් සහ සියලුම පාර්ශවකරුවන් වෙත නිකුත් කරනු ලබන වැඩිදුර යාවත්කාලීන කිරීම.
පසුගියදා වාර්තා වූ අක්රමිකතාව සම්බන්ධයෙන් සියලුම ගනුදෙනුකරුවන් සහ පාර්ශවකරුවන් වෙත පැහැදිලි සහතිකයක් ලබාදීමට ජාතික සංවර්ධන බැංකුව අපේක්ෂා කරයි. මෙම සිදුවීම හේතුවෙන් කිසිදු ගනුදෙනුකරුවකුගේ ගිණුම් ශේෂයන්ට බලපෑමක් සිදුව නොමැති බව බැංකුව යළිත් අවධාරණය කර සිටියි. සියලුම ගනුදෙනුකරුවන්ගේ ගිණුම් ශේෂයන් නොවෙනස්ව සහ සුරක්ෂිතව පවතී. තවද, බැංකුවේ සියලුම මෙහෙයුම් කටයුතු සහ සේවාවන් කිසිදු බාධාවකින් තොරව සාමාන්‍ය පරිදි පවත්වාගෙන යනු ලබන අතර, සියලු මූල්‍ය වගකීම් ඉටු කිරීමට සහ ගනුදෙනුකරුවන්ට සහය වීමට තරම් ශක්තිමත් මූල්‍ය පදනමක් බැංකුව සතුය.
2026 අප්‍රේල් 02 වන දින සිදු කරන ලද අනාවරණයට අනුව, මෙම සිදුවීම බැංකුවේ එක් නිශ්චිත මෙහෙයුම් අංශයකට පමණක් සීමා වූවක් බවත්, ඊට ඇතැම් සේවකයින් පිරිසකගේ අනිසි ඒකාබද්ධතාවය සම්බන්ධ වී ඇති බවත් බැංකුව තහවුරු කරයි. මෙම කරුණ සම්බන්ධයෙන් බැංකුව උපරිම ප්‍රමුඛතාවයකින් යුතුව කටයුතු කරමින් සිටියි.
මෙම අක්රමිකතාව හඳුනාගත් වහාම බැංකුව ඒ සඳහා තීරණාත්මක පියවර ගනු ලැබීය. ඒ අනුව, මීට සම්බන්ධ යැයි සැක කෙරෙන සියලුම සේවකයින්ගේ සේවය අත්හිටුවා ඇති අතර, පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය සියලුම වාර්තා සහ සාක්ෂි සුරක්ෂිත කිරීමට පියවර ගෙන ඇත. අදාළ මෙහෙයුම් අංශය දැනට වෙනම අධීක්ෂණයක් යටතට පත් කර ඇති අතර, ආයතනය පුරා වාර්තාකරණ ව්‍යුහයන් සහ ප්‍රවේශ පාලනයන් තවදුරටත් ශක්තිමත් කර ඇත. නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ගේ සහය ඇතිව අදාළ අරමුදල් යළි අයකර ගැනීම සඳහා විවිධ මට්ටමින් කටයුතු කරමින් පවතින අතර, මේ වන විටත් බලධාරීන් විසින් පුද්ගලයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
වඩාත්ම අහිතකර තත්ත්වයක් යටතේ වුවද, මෙම සිදුවීමෙන් අපේක්ෂිත උපරිම අලාභය සඳහා සම්පූර්ණ ප්‍රතිපාදන සැලසීමෙන් පසුව, 2026 මාර්තු 31 දිනෙන් අවසන් වූ කාර්තුව සඳහා බැංකුවේ විගණනය නොකළ බදු පසු අලාභය දළ වශයෙන් රුපියල් බිලියන 4.0 ක් වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත.
2025 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා බැංකුව රුපියල් බිලියන 11.0 ක බදු පසු ශුද්ධ ලාභයක් වාර්තා කර ඇති අතර, 2025 සිව්වන කාර්තුවේ (Q4) ලාභය රුපියල් බිලියන 3.5 කි. මෙම බලපෑම හමුවේ වුවද, බැංකුවේ ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතයන් (Common Equity Tier I, Tier I සහ Total CAR) පිළිවෙලින් 7.0%, 8.5% සහ 12.5% යන ව්‍යවස්ථාපිත අවම මට්ටම්වලට වඩා ඉහළ අගයක පවතින බැවින් බැංකුව මූල්‍යමය වශයෙන් අඛණ්ඩව ශක්තිමත්ව පවතී. තවද, 2026 මාර්තු 31 දිනට රුපියල් බිලියන 990.0 ක් පමණ වන බැංකුවේ විගණනය නොකළ මුළු වත්කම් පදනම සඳහා මෙයින් එල්ල වන බලපෑම සියයට 0.7 ක් වනු ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව මේ පිළිබඳව සම්පූර්ණයෙන් දැනුවත් කර ඇති අතර, බැංකුවේ ද්‍රවශීලතාවය සහ ප්‍රාග්ධන මට්ටම් නිසි පරිදි පවත්වා ගැනීමටත්, බැංකුවේ ස්ථාවරත්වය සහ සුමට ක්‍රියාකාරීත්වය තහවුරු කිරීමටත් අවශ්‍ය නියාමන සහය සහ අධීක්ෂණය මහ බැංකුව විසින් ලබා දෙයි.
නියාමන උපදෙස් වලට අනුකූලව, 2026 අප්‍රේල් 06 වන දින කොටස් හිමියන් වෙත ගෙවීමට නියමිතව තිබූ මුදල් ලාභාංශ ගෙවීම අත්හිටුවා ඇති අතර, කොටස් ලාභාංශ සැලසුම් කළ පරිදි ක්‍රියාත්මක වනු ඇත.
මෙම සිදුවීම පිළිබඳව අපක්ෂපාතී සහ විධිමත් සමාලෝචනයක් සිදු කිරීම සඳහා බැංකුවේ අධ්යක්ෂ මණ්ඩලය විසින් ස්වාධීන වෝහාරික විගණකවරයෙකු පත් කිරීමට නියමිතය.
වගවීම සහ විනිවිදභාවය වෙනුවෙන් NDB බැංකුව නිරන්තරයෙන් කැපවී සිටින අතර, මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු අනාවරණය වන විට ඒ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට කටයුතු කරනු ඇත.
තහවුරු නොකළ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් හෝ අනුමාන කිරීම් වලින් වැළකී සිටින ලෙස බැංකුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි. මේ පිළිබඳව නිවැරදි තොරතුරු සහ පැහැදිලි කිරීම් අවශ්‍ය ගනුදෙනුකරුවන් හට තමන්ට ආසන්නතම NDB බැංකු ශාඛාව, සිය සම්බන්ධතා කළමනාකරු හෝ 0117448850 අංකය ඔස්සේ පාරිභෝගික සේවා අංශය ඇමතීමට පහසුකම් සලසා ඇත.
ගනුදෙනුකරුවන් වෙත නිවේදන
